නිසල විල ආරණ්‍ය සේනාසනය˜ අභිනව ආරණ්‍ය සේනාසනයක් ගොඩනගා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කල වගයි


නිසලවිල පදනම විසින් සිදුකල තවත් මහා සාසනික පුණ්‍යකර්මයකි මේ, ඒ මහා පුණ්‍ය ගංගාව ඔබ සැවොම අනුමෝදම් වෙත්වා...

කහතිලගම, පොල්පිතිගම, කුරුණෑගල කඳු මුදුනක පිහිටි කටාරම් ලෙන් සහිත මෙම රමණීය ආරාමයේ කලින් කල භාවනා යෝගි භික්ෂූන් වහන්සේලා වැඩසිටිය නමුත් කඳු මුදුනේ පිහිටි එම ආරාමයට පිවිසීමට තිබූ මිටර් 400 ක පමණ අති දුෂ්කර මාර්ගය මතින් පිණ්ඩපාතය සඳහා දිනපතා ගමන් කිරීමට ස්වාමීන් වහන්සේලා හට දැඩි අපහසුතාවයක් පැවති බැවින් උන්වහන්සේලා ආරාමය හැරගිය නිසා අභාවයට ගොස් තිබුණු මෙම ආරණ්‍ය සේනාසනයට නිසලවිල පදනම විසින් සැලසුම් කර පියගැට පෙළවල් සහිත මෙම මාර්ගය සතර දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා ගෞරවයෙන් පූජාකල බව ඔබ සැමට සතුටු සිතින් දැනුම් දෙමු.

දැනට ස්වාමීන් වහන්සේලා 26 නමක් පමණ මෙම රමණීය වූ ආරාමයේ වැඩ හිඳී. අභාවයට ගිය මෙම ආරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව සංඝයා වහන්සේලාගෙන් පිරී පවතින්නේය. තවද මාර්ගය මෙන්ම කුටි හා තවත් විවිධ පහසුකම් රැසක් මෙම ආරණ්‍ය උදෙසා සකස් කර දීමට හැකි වූ බව සතුටෙන් දැනුම් දෙමු. රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් මේ සඳහා වැයවූ අතර පිංවත් බොහෝ පිරිස් විසින් අති විශාල වූ ශ්‍රම දායකත්වයක් ලබාදුන්නේය.
මෙම උතුම් විහාර දානය සඳහා ආධාර මුදල් ලබාදුන් හා ශ්‍රම කඳුලක් හෙලා හෝ සම්බන්ධ වූ පිංවත් ඔබ සැමට උතුම් වූ නිවන් සාක්ශාත් කරගැනීමටම මෙම මහා පුණ්‍ය බලය
හේතු වාසනා වේවා.. හේතු වාසනා වේවා.. හේතු වාසනා වේවා..

නිසලවිල පදනම විසින් නැවත අරඹා දුන් මෙම ආරාමයට නිසලවිල ආරණ්‍ය සේනාසනය නමින් එහි පැරණි දායක සභාව විසින් නම් තබා ඇත.

සටහන:-
විශාල වශයෙන් ඉදිකිරීම් සඳහා ආරාමයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා අරුචියක් දක්වන බැවින් දැනට පවතින කුටි හා ඉදිකිරීම් ඉතාම සරලව උන්වහන්සේලාගේ ඉල්ලීම පරිදි සිදුකර ඇති බව දැනුම් දෙමු.