”මා භික්ඛවේ පුඤ්ඤාණං භායිත්ත - සුඛස්සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤාණං”

තිලෝගුරු අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන් වදාළ මෙම උතුම් තථාගත වචනයේ අර්ථය වනුයේ,

”පිනට බිය නොවිය යුතු බවත්, සුඛයට අධිවචනයක් ලෙස පින හැඳින්විය හැකි බවත් ය”.

තවද, ”සුමනාවතී දන් දිය යුතුමය, පින් කළ යුතුමය, ශ්රමණ වූවන්ටත්, ගිහි වූවන්ටත්, දෙව් වූවන්ටත් පින උපකාරී වේ”

යන්න ද, සුමනා සූත‍්රයෙහි උන්වහන්සේ විසින් දේශනා කර ඇති උතුම් බුදු වදනකි.
එමෙන් ම සූත්ර දේශනා ගණනාවක ම උන්වහන්සේ විසින් පින වර්ණනා කර ඇති අවස්ථා ඕනෑ තරම් සොයා ගත හැකිය.

එම දේශනා අතර බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තුනුරුවන් ගුණ උදෙසා සිදු කරන ශාසනික පුණ්යකර්මයන්ගේ ශක්තියෙන් මහත්ඵල මහානිසංසදායක ප්රතිඵල ලබාදෙන බව ද, උන්වහන්සේ විසින් දේශනා කර ඇත.

‘නිර්වාණය’ තරම් මහත්ඵලයක්, මහානිසංසයක් බුදු මුවින් දේශනා කර නොමැති අතර, සතර අපා ආදී දුඃඛිත තත්වයන්ගෙන් මිදී, එම මහා නිර්වාණාවබෝධය ළඟා කර ගැනීමට අවැසි හේතු වාසනා ජනිත කර වන්නේ, උතුම් තුනුරුවන් ගුණකඳ උදෙසා සිදු කරන සාසනික පුණ්යකර්මයන් තුළින් ම බව සඳහන් කළ යුත්තකි.

එම මහා පුණ්යකර්මයන්හි ඇති අගය මනාකොට අවබෝධ කර ගත් දුර්ලභ වූ සත්පුරුෂයන් තමාට ද, බාහිර ජනතාවට ද පරම සුවය ළඟා කර ගැනීමට හේතු වන සාසනික පිනෙහි එකමුතු වී නියැලෙයි.

එසේ නියැලෙන්නා වූ ශාසනික පුණ්යකර්මයන්හි ශක්තියෙන් තමන්ටත්, මුළුමහත් ලෝකයාටත් ඇති කර වන මහා සෙත පිළිබඳ ව උතුම් වූ බුදු වදනින් මනාකොට දේශනා කර ඇත.

බුදු බව ලැබුමට පවා තමන්වහන්සේ විසින් සිදුකරගත් මහා පුණ්යකර්මයන්ගේ ශක්තිය හේතු වූ ආකාරය ‘බුද්ධාපදාන’ යෙහි සඳහන් වේ.

එමෙන්ම මහරහතන් වහන්සේලා හට උතුම් වූ අරිහත්ඵලය ලබා සැනසීම ලැබුමට සිදු කරගත් ශාසනික පුණ්යකර්මයන් හේතු වූ ආකාරය තමන්වහන්සේලාගේ පෙර අත්බැව් සිහිකර දේශනා කර ඇති අතර එම දේශනා ත්රීපිටකයට අයත් ථේර, ථේරී ආපදාන පාලී ග‍්රන්ථයන්හි සඳහන් ව ඇත. එම දේශනා අතර,
ගෞතම බුදුපියාණන් වහන්සේගේ දකුණත් අග‍්රශ‍්රාවකයන් වහන්සේ වන ප‍්රඥාවෙන් බුදුපියාණන් වහන්සේට පමණක් දෙවැනි වූ සැරියුත් මහරහතන් වහන්සේට උතුම් වූ අරිහත්ඵලයත්, එම මහා ප්රඥාවත් උදාවීමට හේතු වූ අතීතයේ දී සිදු කරගත් මහා පුණ්යකර්මය ද, ඉන් ජනිත වූ අප්රමාණ පුණ්ය විපාකයන් ද උන්වහන්සේ විසින් අතීතය සිහි කර මෙසේ සඳහන් කර ඇත.

උන්වහනසේ ‘සුරුචි’ නමින් මහා ගුණ නුවණ ඇති තාපසයෙකු ව ඉපිද හිමාලය ආශ‍්රිත වූ මනරම් වන අරණක තම ශිෂ්යයින් 24000 ක් පිරිවරාගෙන වැඩ සිටි කල්හි, එකළ ලොව පහළ වූ අනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේ එම වන අරණට වැඩ, සමවත් සුවයෙන් වැඩ සිටි සමයෙහි මෙම තාපසතුමා උන්වහන්සේ දැක තථාගතයන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ද, අසූ අනූවක් වූ අනුව්යංජන ලක්ෂණයෝ ද නිරීක්ෂණය කර මේ වැඩ සිටින්නේ තුන්ලෝකාග්ර වූ සර්වඥයන් වහන්සේ නමක් බව හැඳින උන්වහන්සේ හට වනමල් ගෙන සකසා මහා මල් පූජාවක් ද, අනෝමදස්සී බුදුපියාණන් වහන්සේගේ සර්වඥ ඥානය පිළිබඳ ව මහා බුදු ගුණ වර්ණනාවක් ද කරමින් උතුම් වූ බුද්ධ පූජාවක් සිදු කර ගත් කල්හි දී, අනෝමදස්සී බුදුපියාණන් වහන්සේ විසින් දස දහසක් සක්වල දෙවියෝ ද, භික්ෂු ප‍්රජාව අමතා මතු ජනිත වන පුණ්ය විපාකය ලෙස,
ඇත්, අස්, රිය, පාබල යන සිවුරඟ සෙනඟ නිතර මොහු පිරිවරාගන්නා බවත්, සැට දහසක් තූර්්යයෝ ද, අලංකාර කළ හෙරීහූ ද, මොහුට නිතර උවටැන් කරන බවත්, සොළොස්දහසක් රූමත් ස්ත‍්රීහු මොහු පිරිවරාගෙන සිටින බවත්, කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව වසන බවත්, දහස් වරක් සක්විති රජ වන බවත්, සක්‍්ර දේවේන්ද්ර ව දහස් වරක් දිව්ය රාජ්යය කරන බවත්, අප‍්රමාණ ව ප‍්රාදේශීය රජකම් ලබන බවත්, අවසන් අත්බැව පැමිණි කල්හි මනුලොව ඉපි ද ගෞතම බුදු සසුනේ ‘සාරිපුත්ත’ නමින් අරිහත් ව අග‍්රශ‍්රාවක නමක් වී සසර ගමන කෙළවර කරන බවත් එදා බුදු මුවින් දේශනා කළ බවත් සැරියුත් මහරහතන් වහන්සේ විසින් අතීත කර්මය සිහි කර දේශනා කර ඇත. එම සියලූ සුඛ විපාකයන් තමන්වහන්සේ විසින් අත්විඳි බවත් බුද්ධ වචනය සනාථ කරමින් උන්වහන්සේ විසින් සඳහන් කර ඇත.


එබඳු වන්නා වූ මහා ශ‍්රාවකයන් වහන්සේලා මෙන් ම, සෙසු අරිහතුන් වහන්සේලා විශාල ප‍්රමාණයක් තමන්වහන්සේලාගේ අතීත කර්මයන් සිහි කර සිදු කළ දේශනා, ‘අපදාන පාලි’ ග‍්රන්ථයන්හි සඳහන් වන අතර ඒ අතරින් ‘උම්මාපුප්ඵීය’ මහරහතන් වහන්සේ විසින් කළ දේශනාවක් අපදාන පාලියේ, ප්රථම ග‍්රන්ථයෙහි, 297 වෙනි පිටෙහි මෙසේ සඳහන් වේ.

”ලෝක සත්ත්වයන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට පාත්ර වූ, ලෝකනාථ වූ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහා චෛත්ය පූජාවක් විය. සිදුහත් බුදුරජුනට පූජාව පවත්නා කල්හි මම ‘දියබෙරලිය මල්’ ගෙන සෑයට පිදීමි.”

”මෙයින් සිව් අනූවන කපෙහි යම් පූජාවක් කලෙම් ද, ඒ හේතුවෙන් ‘දුගතියක්’ නොදනිමි ස්ථූප පූජාවෙහි මේ විපාකයයි.”

තව ද, මහාරෝපක මහරහතන් වහන්සේගේ දේශනාවක් ථේර අපදානපාළි ග‍්රන්ථයේ, 295 පිටුවෙහි සඳහන් වන්නේ මෙසේය.

ධම්මදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි ඒ බුද්ධ ශේෂ්ඨයන් වහන්සේගේ ”චෛත්යයෙහි ධජස්තම්භය (කොඩිගසක්) නැංවීමි. ඉනිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑ සමන් මල් ගෙන සෑයෙහි පිදීමි.

”බුදුහු ආශ්චර්යය, ධර්මය ආශ්චර්යය, අපගේ ශාස්තෘ සම්පත්තිය ද ආශ්චර්යය.’ එකී පූජාව හේතුවෙන් දුගතියක් නොදනිමි. ”ථූපවන්දනා” වෙහි මේ විපාකයයි.” මෙයින් සිව් අනූවන කපෙහි මහත් බල ඇති ‘ථූපසිඛර’ නම් වූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ. එසේ සියලූ යහපත් පුණ්යඵල ලැබ අවසානයේ දී අරිහත් ඵලයෙන් සුවපත් වූ බව උන්වහන්සේ විසින් දේශනා කර ඇත.

එසේ විවිධ ආකාරයෙන් ශාසනික පුණ්යකර්මයන්හි නියැලෙමින් අප‍්රමාණ සුඛ විපාක විඳ, අවසානයෙහි අරිහත්ඵල සුවයෙන් සුවපත් වූ බව අරිහතුන් වහන්සේලා විසින් සනාථ කර දේශනා කර ඇත.

මෙම ලිපිය Facebook හරහා කියවන්න මෙතනින් ක්ලික් කරන්න