ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා

මහා අධිෂ්ඨාන බල පූජාව සඳහා යොදාගත් අග්‍ර පැතුමවන ඉහත පාඨය අරඹයා බොහෝ ගිහි පැවිදි පිරිස් විසින් අදහස් උදහස් හා විවේචන එල්ල කළා. සියලුම අදහස් උදහස් විවේචන මේ වන විට ඉදිරිපත් කර අවසාන නිසා එම පාඨය මෙම මහා බුද්ධෝපහාර පූජාව සඳහා යොදාගැනීමට හේතු වූ ධර්මානුකූල විස්තරය ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අප තීරණය කළා.

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සාරාසංඛ්‍ය, අට්ඨාසංඛ්‍ය, සොලොසාසංඛ්‍ය වශයෙන් සාමාන්‍ය හිතකට හිතාගන්නවත් බැරි තරම් කාලයක් සංසාර ගමනේ බොහෝ දුක් වෙහෙස විඳලා සම්මා සම්බුද්ධත්වයට පත්වන ඒ ලෝකනාථ වූ තිලෝක පූජිත වූ, පරම ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන්වහන්සේලා මේ ලෝක තලයේ පහළ වන්නේ අතිශයින්ම දුර්ලභව බව ඔබ අප හැමදෙනාම හොඳින්ම දන්නා කාරනාවක් වෙනවා.

ඒ උතුම් වූ නිදුකානන්වහන්සේලා අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් එසේ සසර දුක් ගැහැට විඳදරාගෙන කටයුතු කරන්නේ ලෝකසත්වයාව මෙම කටුක වූ බොහෝ දුක් සහිත වූ භයානක වූ සංසාර ගමනින් එතෙර කරවන්නටම බව හිතනකොටත් ඒ මහා කරුණා ගුණය ගැන දරාගන්න බැරි ප්‍රසාදයකින් සිත් සතන් පිරී ඉතිරී යනවා.

පින්වත්නි අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ මීට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ඒ කියන්නේ බුද්ධත්වයට අවශ්‍ය වූ පාරමිතා ධර්ම පූර්ණය කරන්නට පෙර සුමේධ තාපසතුමා වෙලා ඉපදිලා ඉන්නවා, අෂ්ඨඵල සමාපත්ති පංච අභිඥ්ඥා බල වගේ ලෞකිකත්වය තුල ලබන්න පුළුවන් උපරිම ආද්‍යාත්මික ශක්තීන් උපදවාගෙනලු උන්වහන්සේ ඒ වෙනකොටත් හිටියේ.

ඉතින් ඒ කාලේ ලෝකේ පහල වෙලා හිටපු දීපංකර නම් ලෝකනාථ වූ, පරම පූජිත වූ බුදුරජාණන් වහන්සේගේ පාමුල සුමේධ තාපසතුමා විදියට ඉපදිලා හිටපු මහා බෝසතානන්වහන්සේ ගෞතම නමින් බුදුවෙන්න නියත විවරණ ලබනකොට උන්වහන්සේට මෙම අතිශය බිහිසුණු සසර ගමනින් සදහටම නික්මෙන්න හොඳටම අවස්ථාව තිබුනා කියලයි දේශනා කරලා තියෙන්නේ.

ඒ කියන්නේ එදා ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් හතර පද ගාථාවක් ශ්‍රවනය කලානම් උන්වහන්සේ අරිහත්ඵලයට පත්වෙනවාලු. දහම් පද හතරක් කියද්දී එතුලින් චතුරාර්‍ය සත්‍ය දැක පූර්ණය කරන්න තරම් මහා ප්‍රඥාවක් ඒ වෙනකොටත් සුමේධ තාපස තුමාට තිබුණ බව දේශනාකරලා තියෙනවා.

නමුත් උන්වහන්සේට හිත පහළ වුනේ ලද අවස්ථාවෙන් මෙම කටුක සසර ගමනින් මිදී යන්න නෙවෙයිලු. උන්වහන්සේට හිතුනේ මම විතරක් මේ භයානක සංසාර ගමනින් මිදිලා මොකටද තවත් කොයිතරම්නම් සත්වයන් මේ භයානක සසරේ අතරමං වෙලා ඉන්නවද, බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුනොත් විතරයි ඒ සත්වයන්වත් මුදාගන්න අවස්ථාව එන්නේ. ඒ නිසා මම විතරක් තනියම මිදිලා බැහැ අනිත් අයවත් මුදවන්න ඕන කියලා හිතිලා මම මතු දවසක කෙසේ හෝ බුද්ධත්වය ලබනවා කියලා අධිෂ්ඨාන කෙරුවලු.

පින්වතුනි ඔබට හිතාගන්න පුළුවන්ද ඉදිරියට එන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අන් අය වෙනුවෙන් දුක් විඳලා අන් අයව මුදවගන්නවා කියලා කෙනෙකුට හිතක් පහළවෙන්න පුළුවන්ද කියලා? දැන් සාමාන්‍ය අයටනම් සසර ගමනක වින්ද දුක අතීත අත්බැව් ජාතිස්මරණ ඤාණයෙන් සිහිකරලා දැකලා හොයාගන්න බැහැ. නමුත් මේ සුමේධ තාපසතුමා කියන්නේ ඒ ජාතිස්මරණ ඤාණ තිබිච්ච කෙනෙක්. ඉතිං උන්වහන්සේ ඒ ඤාණ හරහා අතීත අත්බැව් වලදී සතර අපාගතවෙලා තමන් වින්ද දුක් ගැහැට පිළිබඳව හොඳටම දැකගත්ත කෙනෙක්. ඒ බව දැන දැනත් තවත් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් මම දුක් වින්දට කමක් නැහැ එහි කෙළෙවර බුද්ධත්වය ලැබෙනවානම්. ඒ සියළුම දුක් ඉවසගෙන බුදුබව ලබලා මම සත්වයා මුදවනවා කියලා ලෝක සත්වයා කෙරෙහි පහළකරපු ඒ මහා කරුණා ගුණය ගැන ඔබට කියන්න වචන තියෙනවද? ඉතිං බෝධිසම්භාර පුරණ කාලේ බෝසතාණන් වහන්සේලාගේ ගුණකඳ එහෙමනම් බුද්ධත්වයට පත්වුනාට පස්සේ බුදු ගුණකඳ කොහොම කොපමණ ඇත්ද කියලා සීමාවකින් කියන්න පුලුවන්ද?

අන්න ඒ අසීමිත ගුණකඳ වෙතයි අපි ඔබ හැමදෙනාම මේ වඳින්නේ පුදන්නේ කියලා පළමු කොටම සිහිකරගන්න ඕනේ. නැතුව මේ ගස් ගල් කියලා හිතාගෙන නෙවෙයි කියලා හිතන්න ඕන.

ඊළඟට අපි බලන්න ඕන බුද්ධාදී උත්තමයන් වහන්සේලාට ගෞරව නමස්කාර කරන, ආමිසයෙන් ඒ උතුම් ගුණ කඳට පූජා සත්කාර පවත්වන පිරිසට ඒ කරන කටයුත්තට අනුව යහපත් විපාක ලැබෙනවද නැද්ද කියලා? ඒක හොයාගන්න වෙන්නේ බුද්ධ දේශනා තුලින්මයි. ඉතිං හොයනකොට බලනකොට පැහැදිලිවම පේනවා උන්වහන්සේ විසින් එම උතුම් කටයුතු වර්ණනා කරපු දේශනා ගණනාවක්ම ත්‍රිපිටක ධර්මයේ තියෙනවා කියලා.

උදාහරණයක් විදිහට අප බුදුරජාණන් වහන්සේ සැවත් නුවරින් නික්ම බරණැස් නුවරට වඩින අතරතුර තෝදෙයිය නම් ගම අසබඩ තිබෙන එක්තරා දේවස්ථානයකට දිවා විහරණය සඳහා භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩම කළා. එහි වැඩ සිටි බුදුපියාණන් වහන්සේ ආනන්ද තෙරණුවන් කැඳවලා ඒ දේවස්ථානය අවට ගොවිතැන් කරමින් සිටි බමුණෙකු උන්වහන්සේගේ සමීපයට කැඳවගෙන එන්න කියලා ආනන්ද තෙරණුවන්ව පිටත්කරලා ඇරියා.

බමුණව එතනට ආනන්ද තෙරණුවන් විසින් කැඳවාගෙන ආවට පස්සේ බමුණා බුදුරජාණන් වහන්සේට වඳින්නටත් කලින් අර දේවස්ථානයට වැඳලා ගෞරව කලා, ඒ බමුණාගෙන් බුදුහිමි විමසුවා ඇයි ඒ දේවස්ථානයට වඳින්නේ කියලා. අපේ පරම්පරාවෙන්ම ඒක කරගෙන එන නිසා වඳිනවා කියලා ඒ බමුණා කිව්වා.

බුදුරජාණන් වහන්සේ ඒ කටයුත්ත වර්ණනා කරලා කිව්වා "බමුණ ඔබ මෙතනට වැඳීමෙන් පිදීමෙන් මහත් යහපතක් කරගන්නවා" කියලා.

මේක අහගෙන හිටපු සමහර භික්ෂූන් වහන්සේලාට සැකයක් පහළ වුනා. නිකං බොරු දේකට අර බමුණට බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා කියලා.

ඒ භික්ෂූන්ගේ සැක පහකරන්න බුදුහිමි ඒ දෙවොලේ පොලව යට තිබුන රන් සෑයක් සෘදී බලයෙන් අහසේ මවලා පෙන්නුවා. පෙන්නලා ඒ සෑය මීට පෙර මේ ලෝකේ වැඩ හිටපු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ රන් සෑය බව පෙන්වාදී

ධම්ම පද පාලියේ බුද්ධ වග්ගයේ එන මෙම ගාථා දේශනා කළා

පූජාරහේ පූජයතෝ - බුද්ධේ යදි ච සාවකේ
පපඤ්ච සමතික්කන්තේ - තිණ්ණසෝකපරිද්දවේ

තේ තාදිසේ පූජයතෝ - නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඥ්ඥං සංඛාතුං - ඉමෙ'ත්තමිති කේනචි

එම ගාථා වල සරල අර්ථය ගත්තොත් සියළු පපංචයන් ඉක්ම වූ, සියළු සෝක පරිදේවයන් ඉක්ම වූ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණකඳට පුදන්නන් හට රැස්වන පුණ්‍ය විපාකය ගණන් කිරීමට, මෙතෙකැයි කීමට සමතෙක් මේ තුන්ලෝකධාතුවෙහි නොමැති බවයි.

අන්න ඒ දේශනාවෙන් අපි තේරුම් ගන්න ඕනේ අපි සිදු කරන මේ බුදුගුණ උපහාර පූජාවන් බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන බව.

ඒ වගේම සමහරක් පුද්ගලයන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නොමැති නිසා ඔය කැවිලි, පළතුරු, කිරිපැණි, දානමාන ආදිය උන්වහන්සේ විෂයෙහි පූජාකරන එක මෝඩකමක් කියලා. ඒ අය එහෙම හිතුවට විමානවත්තුප්‍රකරණයේ "තිටඨතෙත නිබබුතෙ චාපි" ආදී වශයෙන් සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ වැඩසිටියදී ද, පිරිනිවන් පෑ විටද සමසිතට සම ඵල ඇතිවේ. සිතේ ප්‍රසාදය නිසා පිං කරන පුද්ගලයෝ සුගතියට යති යන්න දේශනාකර තිබෙනවා.

ඒ වගේම මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් ඔය වගේ ප්‍රශ්නයක් අහනවා. එතුමා අහනවා බුදුරජාණන් වහන්සේට දානමාන තවමත් පූජා කරනවානම් උන්වහන්සේ තවම පිරිනිවන් පාලා නැහැනේ කියලා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන නාගසේන මහරහතන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ලැබෙන දානමාන පුද පූජා සත්කාර පිළිබඳව ඡන්දරාගය අතහැරියේ බෝ මැඩ බුද්ධත්වයට පත්වුණු දවසේ පටන් කියලා. ඉතිං ජීවමානව වැඩඉන්න බුදුරජාණන් වහන්සේට දන් දුන්නත් ඒ ගුණය එහෙම්මමයි. ඉතිං විපාක ලැබෙන්නේ ඒ ගුණකඳ නිසයි. ජීවමානව නැති අවස්ථාවක දන් දුන්නත් ඒ ගුණකඳටයි දන් දෙන්නේ. ජීවමානව වැඩසිටියයි, නැතැයි කියලා ගුණකඳට දන්දෙන්නන්ට විපාකයේ වෙනසක් සිදුවෙන්නේ නැහැනේ කියලා. මොකද ගුණකඳ හැමදාම ජීවමාන නිසා. ඒ නිසා අර මුලින් සඳහන් කරපු විදිහට,

"කෝ දැන් බුදුන්, දැන් බුදුන් නැහැනේ, ඕවා දුන්නට වැඩක් නැහැ" කියන අදහස අද විතරක් නෙවෙයි මහරහතන් වහන්සේලා වැඩ ඉන්න කාලෙත් සමහරු අතර තිබිලා තියෙනවා. ඒ අදහස වැරදි බවට බුදුවරු සහ මහරහතුන් ඔය විදිහට දේශනා කල දේශනා වලින් ඔප්පු වෙනවා. ත්‍රිපිටක පොත් ගණන් තියෙන නිසා ඒ සියළු දේශනා මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න අපහසුයි. ඒ නිසා එම දේශනා ඉදිරිපත් කරන "සාදු ගංගා" වැඩසටහන ශ්‍රවනය කරන්න. එම වැඩසටහන අපගේ වෙබ් අඩවියේත් ( www.nisalavilafoundation.com ) නිසලවිල පදනම නමැති ෆේස්බුක් පිටුවේත් කොටස් වශයෙන් සතිපතා ඉදිරිපත් කරනවා. ශ්‍රවනය කර තවදුරටත් දැනුවත් වන්න.

හොඳයි අපි එතකොට සනාථ කරගත්තා බුද්ධාදී උතුමන් විෂයෙහි අපි කරන පුද පූජා සත්කාර වලට අඩු නැතිව යහපත් විපාක ලැබෙන බවට උන්වහන්සේලාම දේශනා කරලා තියෙන බව.

ඊළඟට ඔබ තේරුම් ගන්න ඕනේ බුද්ධාදී උතුමන් කෙරෙහි සිදුකරන පුණ්‍ය කටයුතු වලයි, අනෙකුත් පුණ්‍ය කටයුතු වලයි ඇති වෙනස මොකද්ද කියලා.

ඒ කියන්නේ නැති බැරි කෙනෙකුට දන්දීම, සතෙකුට සිව්පාවෙකුට දන්දීම ඒ වගේම ලෞකික ගුණ වඩන ගුණවතෙකුට දන්දීම ආදී කොට ඇත්තා වූ ලෞකික කාරණාවන් මුල්කරගෙන සිදුකරන සියළු දානමාන හා ඒ ආශ්‍රිතව සිත, කය, වදන යන තුන්දොරින් සිදුකරන සියලුම සත්කටයුතු අනෙකුත් ලෞකික පුණ්‍ය කර්ම බව. එතුලින් ඔබට ලෞකික සම්පත් ලබන්න හේතු වාසනා ලැබෙනවා. ලැබිලා ඒ පිං ගෙවිලා යන නමුත් එයින් ඔබට විමුක්තිය ලබන්න නැතහොත් නිවන් අවබෝධ කරගන්නට තරම් හේතු වාසනාවක් ජනිත කරවන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා නරකයි කියන එක නෙවෙයි. නිවන් දකින්න තරම් ඒවා ප්‍රභල නැහැ කියන එකයි. මොකද නිවන් අවබෝධ කරන්න ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, ආදී ඉන්ද්‍රිය සම්පත්තිය අවශ්‍යයි.ඒ ඉන්ද්‍රිය සම්පත්තිය ලබන්න ඒ ඉන්ද්‍රිය ලැබිච්ච උතුමන් කෙරෙහි දානමාන පුද පූජා කිරීම්,ගුණ වර්ණනා කිරීම්,සිත පහදවා ගැනීම් ආදියෙන් නැගෙන පුණ්‍ය ශක්තිය අවශ්‍යමයි.මොකද හේතුවට අනුවයි ඵලය ලැබෙන්නේ.සමාන හේතුවට සමාන ඵලයයි ලැබෙන්නේ. අපිට මුං වපුරලා තල බලාපොරොත්තු වෙන්න බැහැ, තල වපුරලා මුං බලාපොරොත්තු වෙන්නත් බැහැ නේද?

ඒ නිසා සාසනික පුණ්‍ය කටයුතු අනෙකුත් ලෞකික පින්කම් වලට වඩා බොහොම ප්‍රභලයි. ඒ සියලු කටයුතු ඉක්මවා යනවා කියලා තේරුම් ගන්න ඕනේ.

පින්වත්නි, ඔබ යම්කිසි දිනෙක තුරුණුවන් ගුණකඳ උදෙසා සිත පහදවාගෙන ගෞරව නමස්කාරයක් හරි සිද්ධ කෙරුවොත් ඔබේ සිතෙන් නැගුනු එම මහා පුණ්‍යශක්තිය ඔබව සංසාර ගමනේ අතරමං නොකර කවදහරි අරිහත්ඵල සුවය ලබාදී ඔබට නිවන් සුවය අත්කරදෙන බව ඔබ දැනගන්න.

අරිහත්වයට පත්වූ සියලු මහරහතන්වහන්සේලා එම අති උතුම් ඵලය ලබලා තියෙන්නේ එකවරම නොවන බවත් දැනගන්න. ඒ උතුම් ඵලය ලබන්න ආපු ගමන ආරම්භ වෙලා තියෙන්නේ ඊට කල්ප ගණනාවකට පෙර තුණුරුවන් ගුණ කෙරෙහි ගෞරවයක් ඇතිවෙලා සිදුකරපු සාසනික ගෞරව උපහාරයක් නිසාම බවත් තේරුම්ගන්න. ඒ බව සැරියුත් මුගලන් වැනි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා විසින් පමණක් නෙවෙයි අසුමහශ්‍රාවකයන් වහන්සේලා මෙන්ම සෙසු බොහෝ අරිහතුන් වලන්සේලා විසින් දේශනා කරලා තියෙන බව ඔබ දන්නවාද? එම දේශනා ත්‍රිපිටක ධර්මයේ එන ථේර ථේරී අපදානපාළි ග්‍රන්ථ වල සඳහන් වෙලා තියනවා.

ඒ විතරක් නෙවෙයි බුදු බව ලැබීමට පවා හේතු වාසනා වූයේ තමන්වහන්සේ විසින් බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා උදෙසා සිදුකරපු මහා මනෝමය පූජාවක් හේතුවෙන් බව බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා.එම දේශනාව ථේර අපදානපාළි ග්‍රන්ථයේ ‘බුද්ධාපාදනය’ නමින් විස්තර සහිතව සඳහන් වෙනවා.

එම තොරතුරු ඔබේම දෙනෙතින් දැක සනාථ කරගැනීමට එම ත්‍රිපිටක ග්‍රන්ථ කියවන්න.

පින්වත්නි, මහරහතන් වහන්සේලා පෙන්වන්නේ උන්වහන්සේලා මේ උතුම් වූ තුණුරුවන් කෙරෙහි පැහැදුනු සිතින් සිදුකරපු පින හේතුවෙන් නිවන් ලැබුවා කියලයි. ඇයි ඒ හේතුවෙන්ම?

පින්වතුනි අපට සාසනික පින් හේතුවෙන් ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය ඉන්ද්‍රිය ශක්තිය පෙර සඳහන් කල පරිදි ලැබෙනවා. ඒ ඉන්ද්‍රිය ශක්තිය නැතුව බුදුවරු අපට දහම් දේශනා කලත් වැඩක්වෙන්නේ නැහැ. අපිට ඒ දහම් තේරෙන්නේ නෑ. ඒක තේරෙන්නේ අර ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ශක්තිය පිහිටලා තිබුනොත් විතරමයි. ඒ වගේම ඉන්ද්‍රිය ශක්තිය ලැබිලා තිබුනත් යථා ධර්මය අපිට මුණගස්වන්නේ අර සාසනික පින් බලයෙන්මයි. යථා ධර්මය නොලැබුනොත් අපිට ඉන්ද්‍රිය තිබුනත් වැඩක් නැහැ. ඉතිං මේ ඉන්ද්‍රිය ශක්තියයි නිවැරදි ශ්‍රී සද්ධර්මයයි යන සසරින් මිදෙන්න අවශ්‍ය වන මූලිකම කරුණු ලබලා දෙන්නේ කර්ම ශක්තියෙන්මයි. ලෞකික පුණ්‍යකර්ම ශක්තියෙන් නෙවෙයි. සාසනික පුණ්‍ය ශක්තින්මයි. ඉතිං ඒ මූලික කරුණු දෙක යෙදිලා දහම් අවබෝධ වුනාට පස්සෙයි පතන්න දෙයක් ඉතිරි වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ දහම් අවබෝධය ලැබුව කෙනා පත පතා ඉන්නේ නැතුව උත්සාහයෙන්, වීර්යයෙන් මාර්ගය වඩනකොට ඒකාන්තයෙන්ම අරිහත්වයට පත්වෙනවා. ඒකයි “නියතෝ සම්බෝධි පරායනෝ” ආදී වශයෙන් සෝවාන් පුද්ගලයා නියත වශයෙන් අරිහත්වයට පැමිණෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කලේ.

ඉතිං ඒ අරිහත්වය ලබාගන්න අර මුලින් කිව්ව මූලික කාරණා දෙක ලැබෙන්නේ සාසනික පිනෙන්නම්, ඒ මූලික කාරණා අඩුනොවූ අකාරයෙන් අග්‍ර ශ්‍රේෂ්ඨව ලැබෙන්න තමයි සියල්ලෙන් පරිපූර්ණව අඩුනොවූ ආකාරයෙන් අග්‍ර ශ්‍රේෂ්ඨ බුද්ධෝපහාර පූජාවක් සිදුකලේ. අනුමෝදන්වන හැමෝටම කෙළවර අරිහත්වය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා. ඕනම දේක කෙළවර අරමුණු කරනවා මිස අතරමග අරමුණු කරන්නේ නැහැ නේද? ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ තරම් විසාලෙට මේ තරම් ධනස්කන්දයක් වියපැහැදම් කරලා බුද්ධ පූජාවල් තියන්නේ? ඊට වඩා හොඳයිනේ අර නැති බැරි මිනිස්සුන්ට ගෙයක් දොරක් හදලා දුන්නනම්, කන්න ටිකක් දුන්නනම් කියලා, කීදෙනෙක්ට නම් ඕකෙන් කන්න දෙන්න තිබුනද කියලා, නමුත් එවැනි හිත් පහල කරගෙන ඉන්න සහ ඒවා වචනයෙන්ම ඉදිරිපත් කරන අයට කියන්න තියෙන්නේ ඒක කරන්න එපා ඒක බොහොම භයානක ප්‍රතිඵල තමන්ට අත්කරලා දෙනවා කියලයි. ඒ බව කියන්නේ බොහොම දයානුකම්පාවෙන්මයි.

මොකද කොසොල් රජතුමා කරපු මහා අසදෘෂ දානය මොනතරම් ධනස්කන්දයක් වියදම් කරලා සිදුකරපු දානයක්ද කියලා බොහෝ අය දන්නවා. බුද්ධප්‍රමුඛ මහරහතන් වහන්සේලා පන්සිය නමක් ඒ දානයට වැඩමවාගෙන ආවේ මුතුකුඩ පන්සියයක් දරාගත් ඇතුන් පන්සියයක් යොදවමිනුයි. ඉතිං ඒ දානයට සියල්ල සපයා ගත්තේ නොඉඳුලෙන් බව සඳහන් වෙනවා. අතිශය විශාල වියදමක් කරලා සිදුකරපු එම අසදෘෂ දානය අවසානයේදී බුදුරජාණන් වහන්සේ පුණ්‍යානුමෝදනාව සිදුකලේ ඉතාම කෙටියෙන් බව සඳහන් වෙනවා මොකද එම මහා අනුමෝදනාව සිදුකලානම් එතන හිටපු ඇමතියෙකුගේ හිස හත්කඩකට පැළෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ දානය පූජා කරන වෙලාවේ ඔහු බොහොම කණගාටුවෙන් හා ද්වේෂ සහගත සිත් පහළ කරගෙන හිටියලු මොකද මේ තරම් රටේ ප්‍රශ්න තියෙද්දී මේ තරම් විශාල ධනස්කන්ධයක් එක වේලක් කන්න දෙන්න මොකට වියදම් කරනවාද කියලා.

ඇයි බුදුහිමි පුණ්‍යානුමෝදනාව සිදුකළොත් මොහුගේ හිස හත්කඩකට පැලෙන්නේ?

පින්වතුනි,බුදුරජාණන් වහන්සේ පුණ්‍යානුමෝදනාවක් සිදුකළොත් ඒ පිනෙන් ලැබෙන ඒකාන්ත විපාකය බුදු ඇසින් දැකලා ඒ විපාක එකිනෙක පාහේම ලැබෙන විදිහ, ලැබෙන කාලය විග්‍රහ කරනවා. ඒ පිනෙන් රජවෙන හැටි, දෙවිවෙන හැටි, සක්‍රවෙන හැටි, සක්විති රජවෙනහැටි මේ ආදි සියළුම විපාක ලබන වාරගණන ආදියත් දේශනා කරනවා. ඒ වගේම ඒ පිනෙන් අවසානයේ අරිහත්වයට පත්වෙන හැටි පවා දේශනා කරනවා.

ඉතිං කොසොල් රජු සිදුකළ එම මහා දානයේ ආනිසංස දේශනා කළානම් අපරාදෙනේ මේ වියදම් කරපු ධනස්කන්ධය කියල හිතපු ඒ ඇමතියට ඒ සත්‍ය විපාක දරාගන්න බැරුවයි හිස හත්කඩකට පැලෙන්නේ මොකද බුදුවරු දේශනා කරන වචනයක් වචනයක් පාසා අතිශයෝක්ති නැතුව සත්‍ය පවසන නිසා.

ඒ නිසා මහා සාසනික පිංකම් සිදු කරන අය කරන වියපැහැදම් වලට හූල්ලන්න එපා. ඒවා අපරාදේ කියලා, හරියට අර ඇමතියා වගේ.

ඊළඟට ඔබ දන්නවා ඇති ලකුණ්ටක භද්දිය තෙරණුවන්ගේ කථා වස්තුව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් යොදුන් ගණනක් උසැති විශාල සෑයක් ඉදිකරන්න එක්තරා රජකෙනෙකු අදහස් කරගෙන ඉද්දී ඒ රජතුමාගේ පුරෝහිතයෙකු වෙලා පෙර අත්භවයකදි ඉපදිලා හිටපු ලකුණ්ටක භද්දිය හිමි ඒ රජතුමාට උපදෙස් දෙනවා මේතරම් උසට මොකට හදනවද ඕක මෙච්චර හැදුවම ඇති කියලා. ඒ කියපු වචනයෙන් නැගිච්ච පාප ශක්තිය නිසා උන්වහන්සේ අරිහත්වයට පත්වනතුරුම ලබපු අත්බැව් වල ඉතාම කොට වෙලා රූපයෙන් කැතවෙලා ඉපදුනාලු. ඒ කියන්නේ බොහෝම විරූපීව ඉපදුනා කියන එකයි. ඒ වගේම අනුන්ගෙන් ගැරහුම්, නින්දා, අපහාස ලැබුවලු අර කරපු පාපකර්මය නිසා. බලන්න මොනතරම් භයානකද කියලා.

මොකද අසීමිත ගුණකඳකට යමෙකු මෙසේ පුදනවා කියලා හිත තිබ්බම එච්චර මොකටද මෙච්චර මොකටද කියලා ඒක සීමාකරන්න වචන කියන්න ගියොත් ලොකු පාපයක් ඒකෙන් සිද්ධවෙනවා. ඒ නිසා ප්‍රවේසම් විය යුතුයි. මොකද සාසන ගුණ බරපතලයි. සාසනයට පුංචි දෙයක් දුන්නම මහා පුණ්‍ය ශක්තියක් ලැබෙනවා වගේම වචනයකින් හරි, අප්‍රසාද හිතකින් හරි දූෂ්‍යගති පහළ කරගත්තොත් දුක් විපාකත් විශාල වශයෙන් විඳින්න ලැබෙනවා. ඒ නිසා සාසනික කටයුතු කෙරෙහි දැනුවත් වෙලා පුළුවන් තරම් හිත පහදවා ගන්න කියලා විවේචනය කරන පිරිස් වෙත අපි දයානුකම්පාවෙන් මෙම දහම් කරුණු සඳහන් කරනවා.

ඉතිං මේ සියළු දේවල් ධර්මය සාක්ෂි කරගෙන අධ්‍යනය කලාට පස්සේ අපට හිතුනා මේ මහා පින්කමට නන් අයුරින් දායකත්වය දක්වන ඒ වගේම දැකබලා ඒ මහා පුණ්‍යගංගාව අනුමෝදන්වෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ඔබහටත් පෙනෙන නොපෙනෙන සියළු ලෝක සත්වයන්හටත් අරිහත් සුවය ලබාගන්නට හේතුවාසනා ලැබේවා කියලා පතනෙක තමයි පැතිය යුතු හොඳම පැතුම කියලා. ඒ වගේම පෙනෙන නොපෙනෙන සියළු ලෝක වල සත්වයන් ලක්ෂ ගණනින් අප්‍රමාණව මේ මහා පිංකම අනුමෝදන්වන නිසා පැතුම සීමා නොකර ලක්ෂ ගණනින් යනුවෙන් ශබ්ද වන සීමාවක් පනවන්න බැරි අසීමිතයි කියන අර්ථය දෙන වචනය යෙදුවා. යොදලා ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා යන ආශිර්වාදාත්මක පැතුම සියළු ලෝක සත්වයන් කෙරෙහි පතන්න අපි අදිෂ්ඨාන කරගත්තා. ඉතිං ඔබඅප සංවිධානය කරපු මේ මහා අසදෘශ පිංකම පහන් සිතින් අනුමෝදන්වුන ලක්ෂ සංඛ්‍යාත ජනතාව වගේම අසංඛ්‍ය ගණනින් සත්වයන් ඒ හේතුවෙන් ඒකාන්තයෙන්ම සසර වැඩිදුර නොගොස් අරිහත්වය ලබන බව අපි පිංකමට කලින්ම සද්ධර්මයෙන් සොයාගත්තා.

ඉතිං සියලුම දේවල්ම පාහේ නොඉඳුල්ව සකසාගෙන මාස ගණනක්ම නිර්මාංශව පේවීඋන් දහස් ගණනක ශ්‍රද්ධාබුද්ධිසම්පන්න ජනතාවගේ ශ්‍රම බලය යොදවමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ දායකත්ව ශක්තියෙන් පෙනෙන නොපෙනෙන අසංඛ්‍ය සත්වයන්ගේ සාධුකාර මධ්‍යයේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේලා ජීවමානව වඩමවනවා යැයි සිහිකරමින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා 28 නමක් උඩුවියන් සෙවන ලබමින් යෝධ රන් පාවඩයක් මතින් වඩමවා මේ මිහිමත ඇති බලගතුම ස්ථානය වන රුවන්වැලි මහා සෑ රදුන් වටා ලක්ෂ ගණනක සුවඳ මලින් මනාවට සැකසූ මල් මණ්ඩප 28 ක් මත වඩමවා හිඳුවා ලක්ෂයක් නොඉඳුල් පහන් එළි දල්වමින් දස ලක්ෂයක් විදුළි බුබුළු ආලෝකයෙන් අවට පරිසරය ඒකාලෝක කරමින් නොඉඳුල්ව සකසාගත් පූජාවන් 26ක් රැය පහන් වන තුරුම පෙරහැරින් වැඩම කරවමින් අසීමිත බුදු ගුණකඳ උදෙසා පූජා කල ඒ මහා අදිෂ්ඨාන බල පූජාව මේ මිහිමත පැවැත්වුනා.

අහෝ ඒ මහානීය අසදෘෂ මහා පිංකම දැක චිත්තප්‍රසාද සිතින් කඳුළු සලමින් අනුමෝදන් වූ ලක්ෂ සංඛ්‍යාත මහා ජනගඟ මෙන්ම පෙනෙන නොපෙනෙන ලෝකවල අසංඛ්‍ය සත්වයන් ඒ පින් බලය හේතුකොටගෙන මතු කවදා හෝ ප්‍රමාදයකින් තොරව අරිහත් ඵලයට පත් නොවනවානම් බුද්ධ දේශනා හා මහරහතුන්ගේ දේශනා මුසාවක් වන බව කිව යුතුයි.

බුදුපිය ගුණකඳට පුදන්නන් පමණ කළ නොහැකි ඒ මහා පිං බලයෙන් ඒකාන්තයෙන්ම අප්‍රමාදීව අරිහත්වයට පැමිණෙන බව ත්‍රිපිටක ග්‍රන්ථ ගණනාවකම දේශනා කර තිබියදී බුදුගුණ පූජාවකින් ලැබෙන අග්‍ර ඵලය පතනවාමිස ඒ පිං අනුමෝදන්වන ඔබ වෙත පතන්නට තවත් පැතුමක් සද්ධර්මයෙන් අපහට ලැබුණේ නැත.

පින් අනුමෝදන් වූ ලක්ෂ සංඛ්‍යාත ඔබහට අවැසි වූ සියළු හේතුවාසනාවන් පරිපූර්ණභාවයට පත්වී,

ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා....!

සාදූ... සාදූ... සාදූ...