තුන්ලෝකාග‍්‍ර වූ, සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් ලැබ දුන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අරි අට`ගි මග නම් අංග අටකින් සමන්විත මාර්ගය උත්තරීතර වූ, ශාන්ත පදනම් වූ එ් අමා නිවන් සුවයට උතුම් වූ මාර්ගය ම වන්නේ ය. කෙලෙස් රෝගයෙන් රෝගාතුර වූ ලෝ සතට, එම රෝගය නැසීම උදෙසා ලැබ දුන් මහා ඖෂධ අටක් බඳු මෙම උතුම් මාර්ගාංග තුළින් එකිනෙකට වෙනස් වූ කාර්යයන් ඉටු කරමින්, කෙලෙස් රෝගය සුව කිරීම උදෙසා ක‍්‍රියා කරයි. එම උතුම් මාර්ගාංග අටෙන් කෙලෙස් රෝගය ක්ෂය වී ගොස් අවසානයේදී සම්මා ඥාන, සම්මා විමුක්ති යන මාර්ගාංග යුගලක් ද පහළ වී, උත්තරීතර වූ අරිහත්ඵල සුවයෙන් සදහට ම සුවපත් වී යන බව සත්‍යයි.

සම්බුදු පියාණන් වහන්සේලාගේ එම සත්‍ය වූ උතුම් වූ දහම් මග සිහි කර, එකිනෙකට වෙනස් වූ ඖෂධීය ගුණ රැදුණු පාන වර්ග අටකින් සමන්විත මහා අෂ්ඨපාන පූජාවෝ තැන්පත් කරන්නේ, ශ්වේත වර්ණ නෙලූම් ඇතුරුමක් මතයි. නෙලූම් ඇතුරුමෙන් අදහස් කරන්නේ උතුම් වු ආර්ය භූමියයි. යම් හදවතක් මෙම උතුම් මාර්ගාංග අටෙන් සමන්විත නම් එම හදවත ආර්ය උතුමකුගේ හදවතක් ම වන්නේ ය. ආර්යයන් ලොව පහළ කළ එම මහා ආර්යයන් වහන්සේගේ උත්තරීතර හදවත සිහි කර, එම නෙලූම මත මෙම නොඉඳුල් අෂ්ඨපාන පාත‍්‍රා වඩා හිඳුවා නෙලූමෙහි මධ්‍යයේ ඉහළට පැන නැගුණු මණ්ඩපයක් මත දසවරක් පෙරූ පැන් පාත‍්‍රයක් වඩමවා හිඳුවයි. ඉන් අදහස් කරන්නේ, එම උත්තරීතර අරිහත්ඵල සිතමයි. එම උතුම් වූ අරිහත්ඵල සමාධි සිත යනු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී සම්මා අංග අට තුළින් පෙරි, පෙරී ගොස් අවසානයේ දී සම්මා ඥාන, සම්මා විමුක්ති යන මාර්ගාංග යුගලයෙනුත්, හදවත්හි කෙලෙස් ගති පෙරුණු පසු ඉතිරි වන ප‍්‍රභාෂ්වර සුපිරිසිදු ඵලයයි. එසේ දසවරක් පෙරුණු සුපිරිසිදු හදවත සිහි කර අප ද, දස වරක් පැන් පෙරාගෙන පාත‍්‍රා තුළට තැන්පත් කර නෙලූම මධ්‍යයෙන් ඉහළට පැන නැගුණ මණ්ඩපය මත වඩමවා හිඳවූයේ අංග අටකින් සමන්විත දහම් මග වඩන ආර්ය උතුමන්ගේ හදවත් තුළින් මොහොතකින් පැන නගින සුපිරිසිදු වූ, උතුම් වූ ඒ අරිහත්ඵල සිත සිහිකරමයි. එසේ උතුම් අරිහත්ඵල සිත් ලොවට පහළ කරවීමට අසමසම මග ලැබ දුන් සම්බුදු පියාණන් වහන්සේලාගේ අසමසම මහා ගුණකඳට මෙම නොඉඳුල් වූ, උතුම් වූ අෂ්ඨපාන පූජාවෝ පූජා කර ඉන් නැගෙන්නා වූ, අප‍්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෝ, විහිදී, පැතිරී පිහිටා


ලෝ සතගේ හදවත් තුළට අරි අටගි මග පහළ වේවා!...
එමග වැඬේවා!...
එමග වැඞී, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!