යමකුගෙන් යමක් අත පා ඉල්ලීම එතරම් සුදුසු නොවන කටයුත්තක් බව සෑම කෙනෙකුට ම වාගේ දැනෙන හැඟීමයි. නමුත් මේ තුන්ලෝක ධාතුවේ ගරු නමස්කාර කළ යුතු උත්තරීතර අත පා ඉල්ලීමක් ද වන්නේය. එය නම්,

සබ්බ දුක්ඛ නිස්සරණ - නිබ්බාන සච්චි කරනත්තාය
ඉමං කාසාවං ගහෙත්වා - පබ්බාජේත මං භන්තේ

‘‘සියලූ දුකෙහි නොසැරිසැරීම උදෙසා - නිවන් සාක්ෂාත් කිරීම උදෙසා, මේ කසාවත පිළිගෙන - මා පැවිද්දෙක් කරත්වා!’’

යන්න එම උත්තරීතර ඉල්ලීම වන්නේ ය. උතුම් වූ, සම්බුදු පියාණන් වහන්සේලාගේ සාසනය තුළ රාග, ද්වේෂ, මෝහයන්ගෙන් නිදහස් වී ලැබෙන්නා වූ, අමා සුවය දුටු සැදැහැවත් කුල පුතුන් මෙසේ උතුම් ඉල්ලීමක් අත පා ඉල්ලා පැවිදි වී, තම හදවත් අටෙන් පිරවීම කරවූයේ ය. ‘‘අට්ඨෝ නාම කිං?’’ අටනම් කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන උතුම් වූ අරි අටඟි මාර්ග දහම් වන්නේ ය. මෙසේ උතුම් දහමින් එම කුල පුතුන් තම හදවත් පිරවීම කරවා, අමා සුව ලද බව සත්‍යයි. එම සුවය ලැබගන්න මෙම උතුම් දෑ පිළිගෙන අට දහමින් සිත පුරවා ගනිත්වා! යැයි පතා පූජා කළ දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය, බඳ පටිය, දැලිපිහිය, පෙරහන්කඩ, පාත‍්‍රය, ඉඳිකටුව, නූල්බෝලය යන්න එම දෑ වන්නේය. අල්පේච්ඡ වූ එම දෑ ප‍්‍රත්‍යවේක්ෂාවෙන් පරිහරණය කරමින් හදවත් තුළට පිරවීම කරගැනීමට උතුම් වූ අරි අට`ගිි මඟ දුන් බුදුරජාණන් වහන්සේගේ ගුණකඳ සිහි කර පූජා කරන්නා වූ මෙම අටපිරිකර පූජාවෙන් පැන නැගෙන්නා වූ, අප‍්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයන් විහිදී, පැතිරී, පිහිටා


ලෝ සත ගේ සිත් සතන් අරි අටඟි දහමින් පුරවා ගනිත්වා!...
පුරවාගෙන, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!