රූපා දී අරමුණු වලට ප‍්‍රියබාවයෙන් බැඳී , භව රෝගය වැළඳී දුක් වූ සසර ගමනෙහි ගමන් කරන ලෝ සතුනගේ හදවත් තුළ ඔවුනොවුනට අදෘශ්‍යමාන වූ, අවිද්‍යා සහගත පටිච්ච සමුප්පාද චක‍්‍ර 108ක් ක‍්‍රියාත්මක වී දුක්ගිනි, දාහගිනි වලට ඔවුන්ගේ හදවත් ඇද දමයි. එසේ රෝගාතුර වූ ලෝ සතට රෝග කාරක 108කින් සමන්විත මහා රෝගයක් බඳු අවිද්‍යා සහගත ව ක‍්‍රියාත්මක වන දුක් දෙන පටිච්ච සමුප්පාද චක‍්‍ර 108ක් වනසා දමන, මහා ඖෂධ 108ක් බඳු, කුසල මූල පටිච්ච සමුප්පාද චක‍්‍ර 108කින්, ලෝ සතගේ හදවත් තුළට ප‍්‍රතිකාර ලබා දී ඉන් ලෙඩ නැති, දුක් නැති සදා සුවපත්බාවය වන භව රෝගයෙන් නිදහස් වූ නිවී ගිය, සුවපත් හදවත් පහළ කර දුන් බව සත්‍යයි.

ඒ මහා දහම් ඔසුකඳ ලබාදුන් තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ එම මහා ගුණකඳ සිහි කර, අප ද රෝග කාරක 108ක් නසන්නා වූ ඖෂධ 108ක් සුදු නෙලූම් ඇතිරිලි මත රඳවා මෙසේ පුදදෙන්නේ, ඒ උතුම් ධර්ම දාන ගුණයන්ට ගරු ගුණ සිතින් ම වන්නේ ය. මේ මහා ඖෂධ පූජාවෙන් නැගෙන්නා වූ, මහා පුණ්‍ය කුසල ආශිර්වාදයෝ විහිදී, පැතිරී, පිහිටා සුවපත් වී,


ලෝ සතගේ හද තුළට වැළදුනු දුක්දෙන භව රෝගයන් සුවපත් වෙත්වා!...
ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!