මෙම උතුම් පහන් පූජාවට අවැසි තෙල් සකසා ගැනීම සිදුකරන්නේ, බිමට පතිත නොකර අතටම නෙළාගත් නොඉඳුල් පොල්ගෙඩි යොදාගෙනයි. එමෙන්ම තෙල් සිඳින පරිශ‍්‍රය සුපිරිසිදුකර සකසාගත් විශේෂ මණ්ඩප තුළ කුරා කුහුඹුවකුටවත් ඉඳුල් කිරීමට ඉඩනොදී රැකවරණ සදා උඩුවියන්, වටතිර යොදා මුඛවාඩම්, හිස් වැසුම් පැළ`ද සුපිරිසිදුව මෙම තෙල් සිඳීම සිදුකරයි. තව ද, මෙම තෙල් සකසා ගැනීමේදී තෙල් සකසන පිරිස විසින් පොල් බිඳ ගැනීමේදී, පොල් ගා ගැනීමේදී, පොල් මිරිකීමේදී හා තෙල් සිඳවා ගැනීමේදී යන මෙම කාර්යයන් වලදී, ගරු ගුණ සිතින් යුක්තව ”ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා” යන මහා අධිෂ්ඨානය නොකඩවා හිත තබාගැනීම හෝ සජ්ජායනා කිරීම සිදුකරයි.

මෙම තෙල් සිඳ පහන් පූජාව අවසන් වනතුරු තෙල් සිඳගැනීමෙන් පසු ඉතිරිවන පොල් කුඩු, පොල් වතුර, ආදී ඉවත්කරන දෑ කිසිදු සතෙකු ඉඳුල් කිරීම වළක්වා ගනී.

එසේ ලක්ෂයක් පහන් දැල්වීමට නොඉඳුල් තෙල් සකසන්නේ මෙවන් වූ උතුම් අර්ථ සමුදායකින් සමන්විතවමයි.

උතුම් බුදුබව ලබා ලෝ සතට යහපත සදන්නට බෝසතාණන් වහන්සේ නමක් පශ්චිම අත්බවයෙහි පහළ වනවිට මිහිමත වසන කිසිදු සත්වයෙකුට කායික පීඩාවක් හෝ මානසික පීඩාවක් නොමදීම පහළ වන්නේය. මහා ඝන අන්ධකාර දෙන ලෝකාන්තරික නරකය පවා මොහොතකට එ්කාලෝක කරමින් නිරයගත නිිරිසතුනට පවා සුවයක් උන්වහන්සේ පහළවන විට උදාවන බව ධර්මයෙහි සඳහන් වේ.

එබඳු වන්නා වූ සම්බුදු පියාණන් වහන්සේගේ මිහිමත පහළ වීම සිහිකර මෙම උතුම් පහන් පූජාවට අවැසි තෙල් සකසා ගැනීමට නොඉඳුල් පොල් ඵල නෙලන්නේ භූමියට පතිත නොකර ”භූමියෙහි වසන්නා වූ කිසිදු සත්වයෙකුට දුක් පීඩා නොමවේවා” යැයි යන උතුම් අදිටනින් සමන්විතවමයි.
එසේ සත් අදිටනින් නෙලාගන්නා වූ පොල් ගෙඩි ලෙලි ඉවත්කිරීමෙන් පසු, තෙල් සකසන විශේෂ මණ්ඩප තුළට ගෙන මෙසේ උතුම් පැතුමක් හද තුළ දරාගෙන බිඳිනු ලබයි.

මෙම පොල්කටුව තුළ සිර වී තිබෙන දිය හා සමානවම ලෝ සතගේ හදවත් ද, රාග, ද්වේෂ, මෝහයන් සුවදායකය යන අවිද්‍යාව නැමැති කටුව තුළ සිර වී සිටින්නේය. මෙම පොල්කටු බිඳී මෙහිි දිය නිදහස් වී යන්නා සේ ලෝ සතගේ හදවත් තුළ ඇති අවිද්‍යාව නැමැති කටුව බිඳී, රාග, ද්වේෂ, මෝහයන්ගෙන්

නිදහස් වෙත්වා ! නිදහස් වෙත්වා ! නිදහස් වෙත්වා !
නිදහස් වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !



එසේ බිඳගත් පොල් ගෙන සකස් කරන්නේ, ලෝ සතගේ හදවත් තුළ මෙසේ පොල් ගෙඩියේ සිර වී, තද වී තිබෙන්නා වූ පොල් මදය ටිකෙන් ටික මෙම තියුණු තලයෙන් ගෑවීයන්නා සේ විද්‍යාව නැමැති තියුණු අවියක් බඳු සදහම් නුවණ පහළ වී ලෝ සතගේ සිත් සතන් තුළ සිර වූ රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් දාහයන් ටිකෙන් ටික ගෑවී ගෑවී ගොස් ඉන්,

නිදහස් වෙත්වා ! නිදහස් වෙත්වා ! නිදහස් වෙත්වා !
නිදහස් වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !
යන මහා අධිෂ්ඨානය තබමින් බව ස`දහන් කරමු.

තව ද, එසේ සකසා ගත් පොල් දසවරක් පෙරාගත් පැන් තුළට බහා දියකර මිරිකා රොඩු බවට පත් වී, ඉවත් වී යන්නා සේ ලෝ සතගේ හදවත් තුළ ගැවසීගත් රාගාදී කෙලෙස් දහම් දසවරක් පෙරාගත් පැන් වැනි සම්බුදු පියාණන් වහන්සේලා ලබාදුන්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති නමැති සිසිල් දියෙහි දිය වී ගොස් රොඩු බවට පත් වී හදවතින්,

ඉවත් ව යත්වා ! ඉවත් ව යත්වා ! ඉවත් ව යත්වා !
ඉවත් වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !

යන මහා අදිටනින් බව සඳහන් කරමු.

එසේ රොඩු ඉවත් කර ලබාගත් කිරෙහි මිශ‍්‍ර වූ දිය උදුන මත තැබූ විට වාෂ්ප වී ඉවත් වී යන්නා සේ ලෝ සතගේ හදවත් ද, සදහම් උදුන මත පිහිටා කෙලෙස් දාහ ගති වාෂ්ප වී

ඉවත් වී යත්වා ! ඉවත් වී යත්වා ! ඉවත් වී යත්වා !


එසේ දිය ඉවත් කර සාදාගත් පිරිසිදු තෙල් පහන් ලක්ෂයක් තුළ තැන්පත් කර දල්වා, ඝනඳුර එළිය කර සුවඳ විහිදුවමින් ආලෝකය විහිදී යන්නා සේ, අවිදු අඳුරින් වෙලීගිය

ලෝ සතගේ සිත් සතන් ප‍්‍රඥා ආලෝකයෙන් ඒකාලෝක වේවා !
සාසන බල නැගේවා ! නැණ නුවණ දැල්වේවා !
ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !

යන අති උත්තරීතර මහා අධිෂ්ඨාන බල තබමින් රුවන්වැලි මහා සෑ රදුන් අභියස දල්වන්නා වූ අති උත්තම වූ පහන් ලක්ෂයේ ආලෝක පූජාවට ඔබ සැමද ගරු ගුණ සිතින් යුක්තව අතහිත දී ගනිත්වා !