අවිද්‍යා සහගත බව දරාගත් ලෝ සතගේ හදවත් නිරතුරුව ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම නැමැති අසාරවත් දෙයට වංක වී, නැවී අන්ධ බවකින් ඒවා සමග හා වී දුක් ගති, විඩා ගති විඳිමින්, රූපා දී අරමුණු වලින් නිදහසට පත් වීමට නොහැකිව පීඩා විඳී. රූපා දී අරමුණු ඇසුරු කරද්දී, එවැනි වූ දුක් ගති, විඩා ගති වලින් හදවත් පිරී තිබු නමුත් ලෝ සතට ඇති අවිද්‍යාව නිසා ඒ බවක් නොදැනී ‘සුවයක් යැයි’ හැඟී ඒවාට නැමී වංක වූ බවකින් යුක්ත ව සිටී.

තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ලොවට පහළ වී, ලෝ සතගේ හදවත් තුළ ඇති අවිද්‍යාව බිඳහල විට රූපා දී අරමුණු වලට නැමී සිටිමේ දී විඳින දුක් ගති, දාහ ගති ලෝ සතගේ හදවත් වෙතට දැනී රූපා දී අරමුණු වලට නැමී සිටීමෙන් මිදී, ඍජු වී ඒවාට නමා සිට වූ අවිද්‍යා සහගත කෙලෙස් කලූ ගති ප‍්‍රඥාව නැමැති ගිනිි පලිඟුවෙන් පුලූස්සන විට එම හදවත් තුළ සුවඳවත් සුවතාවයක් හමා යයි. හදවතෙහි කලූ ගති පුලූස්සමින් ඉදිරියට ගමන් කරන එම උතුම් වූ හදවත් ඇති ලෝ සතගේ සසර ගමන කෙටි වී, අවසාන අවිද්‍යා මාත‍්‍රය නැමැති කලූ ගතිය පුලූස්සමින් දීප්තිමත් එළියක් වැනි අරිහත් ඵල සුවයෙන් හදවත් ඒකාලෝක කරමින්, සසර ගමනින් මිදී, සදහට ම නිවී, අමා සුවයට නිදහස් වී ගිය බව සත්‍යයි.

එබඳු වන්නා වූ පරම පිවිතුරු වූ, පරම සත්‍ය වූ අවිඳු බව පුලූස්සා දමන සම්මා සමාධිය පහළ කරදුන් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ගුණකඳ සිහි කර, ලෝ සතගේ සිත් සතන් ද රූපා දී අරමුණු වලට වංක නොවී මේ සඳුන් කූර මෙන් ඍජු වී, සඳුන් කූරෙහි අග ඇති ගිනි පළිඟුව මෙන් ප‍්‍රඥා එළිකඳ හදවත මුදුන්පත් කරගෙන කූරෙහි ඇති ගිනිි පලිඟුවෙන් කූරෙහි කලූ ගතිය පුලූස්සා දමන්නා සේ, එම ප‍්‍රඥා එළි කඳින් හදවත් හි ඇති කාමා දී කෙලෙස් නැමැති කලූ ගති පුලූස්සා දැමීමෙන් ඇතිවන සුවදායක නිවන් සමාධියෙන් හදවත් සඳුන් කූරමෙන් සුවඳවත් කර ගනිත්වා! අඛණ්ඩ ව දැල්වෙන කූරෙහි කලූ ගති කෙටි වී යන්නා සේ, ලෝ සතගේ හදවත් තුළ ඇති අවිද්‍යා සහගත කලූ ගති කෙටි වී යත්වා! දැල් වී, කෙටි වී ගිය සඳුන් කූරෙහි අවසානයේ කලූ ගතිය පුලූස්සමින් දීප්තිමත් ආලෝකයක් විහිඳුවමින් නිවී යන්නා සේ,


ලෝ සතගේ සිත් සතන් තුළ ඇති අවසාන අවිද්‍යා අනුශය නැමැති කලූ ගතිය ද පිළිස්සී යත්වා!...
හදවත් දීප්තිමත් ඵල සමාධියෙන් ඒකාලෝක කරමින්, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!